Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොදෙව්න් තරඟාවලියෙන් ඉවතට යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20ක ජයක්

By News Team on November 5th, 2021 in Sport

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණයකින් නිමා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (04) රාත්‍රියේ සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 20ක ජයක් වාර්තා කරමින්.

අබුඩාබි හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගැනීමට සමත් වුණා.

ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු 42කට සීමා කරමින් කුසල් ජනිත් ලකුණු 29කට දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61කදී ලකුණු 91ක සබඳතාවක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක පන්දු 41කදී ලකුණු 68ක් වාර්තා කළ අතර ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 1ක් ඇතුළත් වුණා.

පැතුම් නිශ්ශංක ලකුණු 51ක් ද නායක දසුන් ශානක නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇන්ඩ්‍රි රසල් ලකුණු 33කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

ලකුණු 190ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ 169ක් පමණි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සටන් කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශිම්රන් හෙට්මයර් පන්දු 54කදී ලකුණු 81ක් ලබාගත් එය කොදෙව් ජයග්‍රහණය කරා රැගෙන යාමට එතරම් ප්‍රමාණවත් වුණේ නැහැ.

ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.

නිකලස් පුරාන් ලකුණු 46යි.

පන්දු යැවීමේ දී වනිදු හසරංග, බිනුර ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න අතරේ කඩුලු 2ක බැඟින් දවා ගැනීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය චරිත් අසලංක දිනා ගත්තා.