Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරඟාවලිය නැරඹීමට අද සිට ප්‍රේක්ෂකයන්ට අවසර

By News Team on November 24th, 2021 in Sport

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා සීමා කිරීම්වලට යටත්ව අද (24) සිට ප්‍රේක්ෂකයින්ට අවසර හිමිවනවා.

මේ අනුව පුර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවයෙන් 50%ක උපරිමයක් වන ලෙස තරඟය නැරඹීමට පැමිණිය හැකි වනවා.

තරඟය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් එන්නත්කරණයට ලක්ව ඇති බවට වන එන්නත් කරණ කාඩ්පත සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ යුතුයි.

ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ක්‍රීඩාංගණයට ඇතුල්වීමට අවම වශයෙන් දින 14කට පෙර දෙවන එන්නත ද ලබාගෙන තිබිය යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි.

ඊයේ (23) දිනයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් අද දිනයේ දී තරඟය නියමිත වේලාවට පෙර අවසන් කළ අතර, දිනය පුරා ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 38ක් පමණයි.

තෙවැනි දිනට තරඟය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබා සිටියා.

ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 11යි. ක්යිල් මේයර්ස් ලකුණු 45කටත්, ජේසන් හෝල්ඩර් ලකුණු 36කටත් දැවී ගියේ පිළිවෙලින් දිමුත් කරුණාරත්න හා දුෂ්මන්ත චමීර රැක ගත් සුපිරි උඩ පන්දු දෙකක් හමුවේයි.

එම කඩුලු දෙක දවා ගත්තේ ධනංජය ද සිල්වා හා ප්‍රවීන් ජයවික්‍රම විසිනුයි.

රකීම් කෝන්වෝල් ලකුණු 39කට දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.

එම කඩුල්ල දැවී යාමත් සමගයි තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණේ.

කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 41කට හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20කට ඊයේ(22) දැවී ගියා.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 100 දී බිද වැටුණු ද අනතුරුව කොදෙව් පසුපෙල පිතිකරුවන් යළි සබදතා පිහිටුවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 386ක් රැස් කළා.

සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලබා ගත් ලකුණු සංඛ්‍යාව 147ක්.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5ක් දවා ගත්තා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 162ක්.

වර්ෂාවෙන් තරගයට සිදු වූ බලපෑම හේතුවෙන් සිව්වන දිනය සදහා තරඟය හෙට පෙරවරු 9.45ට, එනම් නියමිත වේලාවට වඩා මිනිත්තු 15කට පෙර ආරම්භ කිරීමට නියමිතයි.