Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අයවැය යෝජනා සියල්ල මෙතනින් බලන්න

By News Team on November 13th, 2021 in Local

රාජ්‍ය නිළධාරීන්ට දෙන ඉන්ධන දීමනාව මාසයකට ලීටර් 05 කින් අඩු කෙරෙන අතර රාජ්‍ය කාර්යාලවල දුරකථන වියදම් සියයට 25 කින් කපා හැරෙනු ඇති.

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගන්නා වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි.

විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු අවම කාලය වසර 10 ක් දක්වා ඉහළ නැංවෙන අතර වර්තමානයේ එය පවතින්නේ වසර 05 ක් ලෙසයි.

විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කෙරෙන අතර එයට ආරම්භක අරමුදලක් ලෙස රජය රුපියල් බිලියන 100 ක් වෙන් කර තිබෙනවා.

ලබන වසර සඳහා ආදායම් ඉපැයීම සහ වියදම් අවම කරගැනීමේ යෝජනා මුදල් අමාත්‍යවරයා විසින් අනතුරුව ඉදිරිපත් කරනු ලැබුවා. දුම්වැටි නිෂ්පාදන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එක් දුම්වැටියක් මත පණවා ඇති බද්ද රුපියල් 05 කින් වැඩි කෙරෙන බවයි අයවැයි යෝජනාවලිය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කලේ.

සුරා බදු ද වැඩි කෙරෙන අතර ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බවද අමාත්‍යවරයා කියාසිටියා.

සුරා බදු වැඩි කිරීම මගින් රු. බිලියන 25 ක අතිරේක ආදායමක් උපයාගැනීමට නියමිත බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.

ගුරු විදුහල්පති වැටුප් ගැටලූව විසදීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 30,000 ක් වෙන් කර තිබෙනවා.

දැනට රාජ්‍ය සේවයට බදවාගෙන සිටින සියලූ උපාධිධාරින් ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට ස්ථීර කෙරෙන බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් සදහා වල් පැළ හරණය සදහා හෙක්ටයාර 01 කට රුපියල් 5000ක මුදලක් යෝජනා කෙරුණා.

ගැබිණි මාතා පෝෂණ මල්ල මාස 24 ක් යන තුරු ලබා දීමට යෝජනා වුණා.

ග්‍රාමසේවක කොට්ඨාස මට්ටමින් සහන මල්ලක් දීමට රුපියල් මිලියන 15,000ක් සහ ගෘහ ආර්ථික වැඩසටහන සදහා රුපියල් මිලියන 31,000 ක් වෙන් කර තිබෙනවා.

ගම සමග පිළිසදර වැඩසටහන යටතේ ගම්මාන සංවර්ධනය සදහා 2022 වසර වෙනුවෙන් රුපියල් මිලියන 85,000 ක මුදලක් වෙන් කර තිබෙනවා.

මේ යටතේ සෑම ග්‍රාම සේවා වසමක් සදහාම රුපියල් මිලියන 03 බැගින් වෙන් කෙරෙන බවයි අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සදහා තවත් අමතර රුපියල් මිලියන 05 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජිතයි.

කොවිඩ් වසංගතය හමුවේ ආදායම් මාර්ග අහිමිවූ පාසල් වෑන් සහ බස්රථ හිමියන් – ත්‍රි රෝද රථ හිමියන් සහ පෞද්ගලික බස්රථ හිමියන් වෙනුවෙන් සහන ලබාදීම සදහා වෙන්කෙරෙන මුදල් පිළිබඳව ද මුදල් අමාත්‍යවරයා අයවැය කථාවේදී පැහැදිලි කළා.

ඒ අනුව පාසල් වෑන් සහ බස්රථ හිමියන් සදහා සහනදීමට රුපියල් මිලියන 400 ක්ද – ත්‍රී රෝද රථ හිමියන් සදහා සහන දීමට රුපියල් මිලියන 700 ක්ද – පෞද්ගලික මගී ප්‍රවාහන බස් හිමියන් සදහා රුපියල් මිලියන 1500 ක්ද වෙන්කර ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ.

මෝටර් රථ වාහන අනතුරු අවම කිරීම දිරි ගැන්වීම සඳහා මෝටර් රථ වාහන අනතුරු සිදු කර ගන්නා පුද්ගලයාගෙන් ගාස්තුවක් අය කිරීමටත් එය රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමටත් යෝජනා කෙරුණා.

වාහන නවීකරණය කිරීමේදී බදු මුදලක් අය කිරීමට ද යෝජිතයි.

එම මුදල රක්ෂණ ආයතන හා කල්බදු ආයතන වලින් අයකෙරෙනු ඇති.

නිදහස් කර නොගත් ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලූ වාහන නිදහස් කරනවා.

මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.

වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 2000ට වැඩි ආයතන 62 ක් සදහා පමණක් එක්වරක් පමණක් අයකෙරෙන සියයට 25 ක බද්දක් අය කිරීමට නියමිතයි.

2021 වර්ෂ අයවැයෙන් යෝජනා කළ විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ එම භාණ්ඩ සහ සේවා සඳහා 2022 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරෙනු ඇති.

ත්‍රීරෝද රථ ගාස්තු හා සේවා ප්‍රමිතිකරණය කිරීමට නියාමන අධිකාරියක් ස්ථාපිත කෙරෙන අතර රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 600 ක් වෙන් කර තිබෙනවා.

ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර ගණුදෙනුවෙන් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම උපයාගත් බව කියන රුපියල් බිලියන 8 යි දසම 5ක මුදල මහාභාණ්ඩාගාරය වෙත පවරා ගැනීමටද මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් දැනට ගෙනඇති නීතිමය ක්‍රියාමාර්ගවලට හානියක් නොවන ආකායෙන් එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත පවරා ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.

බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් අගය එකතු කිරීම මත අය කරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500ක් වෙන් කෙරෙනු ඇති.

නව ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව 2022 වසරේ සිට ඉවත් කිරීමට යෝජනා කෙරුණා.

විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කෙරෙන අතර එයට ආරම්භක අරමුදලක් ලෙස රජය රුපියල් බිලියන 100ක් වෙන් කෙරෙනු ඇති.

2021 වර්ෂ අයවැයෙන් යෝජනා කළ විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ එම භාණ්ඩ සහ සේවා සඳහා 2022 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කලා.

ත්‍රීරෝද රථ ගාස්තු හා සේවා ප්‍රමිතිකරණය කිරීමට නියාමන අධිකාරියක් ස්ථාපිත කෙරෙනු ඇති.