අද සිට මහ පාරේ සෙල්ලම් බෑ… පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිවේදනයක්.!

අද (23) දිනයේ සිට වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන වලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව රථවාහන මෙහෙයුම සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකරනු ලබයි.

බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි.

මීට සමගාමීව අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර ඒ සදහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් රාජකාරි යොදවා ඇති බවද එම නිවේදනයේ සදහන් වේ.

විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධව 119 හා 1997 යන කෙටි දුරකථන අංක වලට තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව පවතී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *