Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සයිනොෆාම් එන්නතෙන් ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක රැකවරණයක් ලැබෙන බව පර්යේෂණයකින් හෙළි වෙයි

By News Team on July 20th, 2021 in Local

සයිනොෆාම් එන්නතේ මාත්‍රා 2ම ලබාගත් සියයට 95කට කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිදේහ නිපදවෙන බව ශ්‍රී ලංකාවේදී සිදුකළ පර්යේෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව හා ආසාත්මිකතා ඒකකය විසිනි.

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට සයිනොෆාම් එන්නත් මඟින් ඉතා හොඳ රැකවරණයක් හිමිවන බවයි අදාළ පර්යේෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

මෙම පර්යේෂණය සඳහා කොළඹ මහ නගර සභාව සහ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සහය ලබාදී ඇති අතර පර්යේෂණය සඳහා ප්‍රතිපාදන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදී තිබෙනවා.

වයස අවුරුදු 20ත් 39ත් අතර පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ඉහළම සාර්ථක ක්‍රියාකාරීත්වය දක්වා ඇති අතර එහි ප්‍රතිශතය සියයට 98.9 ලෙසයි වාර්තා වී ඇත්තේ.

වයස අවුරුදු 60ට වැඩි අයට එම ප්‍රතිශතය සියයට 93.3 බවයි මෙම අධ්‍යයනයේ දී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.