Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රත්නපුර රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ – ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් රෝහල් ඇඳන් පිරී යයි

By News Team on August 4th, 2021 in Gossip

රටපුරා ප්‍රධාන රෝහල් ගණනාවක දැඩි සත්කාර ඒකකවල කොරෝනා රෝගීන්ගෙන් පිරී පවතින බව වාර්තා වනවා.

මේ වන විටත් රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි අපදා තත්ත්වයක් එහි සියලු කාර්ය මණ්ඩල වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව රත්නපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳන් 04 ම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය සලකා බලා වහාම ඇඳන් 06ක් ස්ථාපනය කිරීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබෙනවා.

රත්නපුර රෝහල් අධ්‍යක්ෂක කාර්යලය සඳහන් කළේ අනෙක් දිනවල පැවැති සමනය සේවා යම්තාක් දුරට අඩු කර ඇතත් කොරෝනා ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදු කරන බවයි.

මේ අතර බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ මේ වන විටත් රෝහල් ගණනාවක හදිසි අපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ අතර දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙන් තවත් හතර පස් ගුණයක් සමාජයේ සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කරන පරීක්ෂණ ක්‍රමවේදයන්ට අනුව දැනට 80% ඉක්මවා සිටින රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් හඳුනා ගත නොහැකි බවයි.

“මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහල් වෙත එන සංඛ්‍යාව මිස හඹා ගිහින සොයා ගනු ලබන හෝ අහඹු පරීක්ෂණ මගින් සොයා ගනු ලබන රෝගීන් නොවේ” යනුවෙන් ඔහු සිය සටහනේ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ අතර කොරෝනා ආසාධිතයින් සඳහන් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල වෙන් කර ඇති ඇඳන්වල සියයට 90ක්ම වැඩි ප්‍රතිශතයක් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව වෙන් කර ඇති ඇඳන් 33000න් 30000ක්ම රෝගීන් පිරී ගොස් ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.