Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රජයේ පටි තද කරගැනීම මුදල් ඇමතිගෙන් යෝජනා ගෙනෙයි

By News Team on August 31st, 2021 in Exclusive Story

බරපතළ මුල්‍ය අර්බුධය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (30) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ ඇති ආර්ථික බරපතළ ගැටළුවකට මුහුණ දී ඇති බවත් රජය අපේක්ෂිත අදායම විශාල ලෙස පහත වැටී ඇති බවත්ය.

රජයේ දැනට පවතින අදායම ද මේ වසරේ පුනරාවර්තන වියදම ද පියවා ගැනීමට ප්‍රමාණවත් නොව බවද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර තිබෙනවා.

මේ වසර සඳහා පුනරාවර්තන වියදම රුපියල් කෝටි 269400 ලෙස ඇස්තමේන්තු කළත් එන්නත්කරණය, සෞඛ්‍යය ක්ෂේත්‍රය කටයුතු පුළුල් කිරීම සහ සහනාධාර ලබාදීම හේතුවෙන් වියදම් වැඩි වී ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත්, මේ දක්වා ආරම්භ කර නොමැති ව්‍යාපෘති, මිලදී ගැනීම්, ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම ආදිය වහාම අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශ විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

තවද සේවක බඳවා ගැනීම් සඳහා මුලික කටයුතු සිදුකර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩු අදායම්ලාභීන්ට පමණක් සීමා කිරීමටද තීරණය කර තිබෙනවා,

මේ අතර අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර තිබෙනවා.

තම ආයතන වල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.