Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීමය පාඨමාලා ආරම්භ කරන ලෙස අගමැතිගෙන් උපදෙස්

By News Team on February 1st, 2022 in Local

රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍ර ආවරණයවන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්නැයි වෘත්තීය පුහුණු පාඨමාලා සිදුකරන රාජ්‍ය ආයතනවලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබෙනවා.

තරුණ තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් ඊයේ (31) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කලා.

වෘත්තීය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබා දීම මෙන්ම පාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සඳහා යොමු කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැති පිරිස කෙටිකාලීන පුහුණුවකින් විදේශ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයන් බවට පත්කිරීමත් විදේශ රැකියා වෙළඳපොළ සහ මෙරට තරුණ ප්‍රජාව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම පිළිබඳවත් එහිදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.

පසුගිය 26 වැනිදා වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බලපත්‍රලත් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ජපානය – දකුණු කොරියාව – ඉතාලිය – රුමේනියාව – කටාර් ඇතුළු රටවල් 22 ක් සඳහා ඇබෑර්තු එක් ලක්ෂ 83 දහස් 198 ක් වෙත ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බවද මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී තිබුණා.