Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විස්සයි විස්ස ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස මහේලට කැඳවීමේ සුදානමක්

By News Team on September 14th, 2021 in Sport

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ක්‍රිකට් කමිටුවෙන් ඉල්ලා ඇත්තේ මහේල ජයවර්ධනගේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමසා බලන ලෙසයි.

මේ වන විට මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවස්ථා තුනකදී IPL ශූරයින් බවට පත්වුණා.

තවද එංගලන්තයේ පළමු වරට පැවැති ද හන්ද්‍රඩ් තරඟාවලියේ ශූරයන් බවට පත් වුණේ මහේලගේ පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රෙව් කණ්ඩායමයි.

ඒ අනුව මහේල ජයවර්ධන සැලකෙන්නේ ලීග් ක්‍රිකට් තරඟාවලියේ සාර්ථක පුහුණුකරුවෙක් ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එක්වන කණ්ඩායම් රැසක් සිය කණ්ඩායමේ උපදේශකයින් ලෙස අත්දැකීම් බහුල හිටපු ක්‍රීඩකයන් එක්කරගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ජේ. පී. ඩුමිනි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර ඇති අතර ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.