Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කාබනික පොහොර ආනයනය වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පෙත්සමක්

By News Team on October 16th, 2021 in Local

විදේශීය රටවල්වලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසිනුයි අදාළ පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුලු පිරිසක් නම්කර තිබෙනවා.

රජය විසින් චීන සමාගමකින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර ඒවායෙහි අහිතකර බැක්ටීරියා හා කෘමීන් අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

මෙලෙස ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතයට ගැනීමෙන් පැළෑටි සංරක්ෂණ පනත, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු අණ පනත් යටතේ වරදක් සිදුවන බව පෙත්සමේ සඳහන්.

එම පොහොර වර්ග වගා කටයුතු සඳහා යොදා ගතහොත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දැඩි ඛේදවාචකයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් විදේශ රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

එමෙන්ම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කාබනික පොහොර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය කිරීමට තීන්දු කළ රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට හා නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.