Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අසුභාවාදීන් ලෝකය වෙනස් කළේ නැහැ – දේශපාලනඥයින්ටත් ජනපතිගෙන් පණිවිඩයක්

By News Team on February 4th, 2022 in Local

ලැබූ නිදහස අර්ථවත් කිරීමට නම් අයිතිවාසිකම් ගැන පමණක් නොසිතා සිය වගකීම් ඉටු කිරීමට සියල්ලන් කටයුතු කළ යුතු බව නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

රටක සැබෑ නිදහස පිළිබිඹු වන්නේ එහි සමාජ දේශපාලන හා ආර්ථික සංවර්ධනයෙන්. ඒ සඳහා සක්‍රියව දායකවීමේ අවස්ථාව සියලු ශ්‍රී ලාංකිකයන්ට හිමිව තිබෙනවා.

වෙනස් නොවන පුද්ගලයන් නිසා අරමුණු වෙනස් කිරීම සිදුකළ නොහැකියි.

අර්බුද නිසි පරිදි කළමනාකරණය කරගෙන රට ඉදිරියට ගෙන යාමට තමන් සූදානම් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ.

ලොව වෙනස් කරන්නේ අනාගතය පිළිබඳව සුබවාදීව සිතා කටයුතු කරන පුද්ගලයන් බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

විවිධ අභියෝගවලට මුහුණදෙමින් නිදහස ලබාගැනීමට මෙන්ම ලැබූ නිදහස රැකගැනීම සඳහා කටයුතු කළ සියලු දේශප්‍රේමීන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළා.

සියලුම ශ්‍රී ලාංකිකයන්ට අද මෙරට ඕනෑම ප්‍රදේශයක නිදහසේ සුරක්ෂිතව ජීවත්වීමේ අයිතිය, කැමති ආගමක් ඇදහීමේ නිදහස මෙන්ම ස්වාධීන මත දැරීමේ නිදහසද සුරක්ෂිත කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියෝජිතයන් පත් කරගැනිමට මෙන්ම රාජ්‍ය පාලනයට සම්බන්ධවීමට අවස්ථාව සළසන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වීම සියල්ලන්ගේ අභිමානයට හේතුවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සියලු මැති ඇමතිවරුන් සහ අනෙකුත් දේශපාලනඥයින් කැපකිරීම් සිදු කර ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා නිදහස් දින ජාතිය අමතා ප්‍රකාශ කළා.