Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පාර්ලිමේන්තුව අද යළිත් රැස්වෙයි

By News Team on September 7th, 2021 in Local

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00 ට යළි රැස්වනවා.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම – මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම , නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයක්, ආනයන සහ අපනයන පාලන පනත යටතේ රෙගුලාසි 03 ක් අද (07) විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් පාරිභෝගිකයින් සූරාකමින් සිටින අවස්ථාවක එය වැළැක්වීම සදහා රජය මැදිහත් නොවන්නේනම් එය ජාතික අපරාධයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කරනවා.

හදිසි නීතිය පමණක් නොව රටේ ඕනෑම නීතියක් මහජනතාවගේ සුබසිද්ධිය පිණිස භාවිත කිරීම රජයේ වගකීමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පිළිබද ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයේදීයි සරත් වීරසේකර මහතා මේ බව කියා සිටියේ.

මහජනතාවගේ යහපත වෙනුවෙන් හදිසි නීති රෙගුලාසි බලාත්මක කරන බව ආණ්ඩුව පැවසුවද එහි සැගවූ වෙනත් අරමුණක් ඇති බවයි විවාදයට එක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ. සී අලවතුවල මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට බලාත්මක හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාද ඊයේ (06) පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කරනු ලැබුවා.

මෙම රෙගුලාසි අදාල වන්නේ අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සදහා වන කාර්යය සදහා පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද විවාදයේදී අදහස් දැක්වුවා.

ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමණාකරනය හේතුවෙන් අද වනවිට රටතුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ඖෂධ හිගයක් පවතින බවටයි මන්ත්‍රිවරයා චෝදනා කළේ. ආනයන හා අපනයන තහනම් පැනවීමෙන් ආර්ථිකය කළමණාකරණය කළ නොහැකි බවද නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

මේ අතර ඉදිරියේදී මෙරට සීනි අවශ්‍යතාවෙන් සියයට 50ක් ලංකා සීනි සමාගමේ නිෂ්පාදනවලින් සම්පූර්ණ කිරීමට සැළසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙරට නිෂ්පාදනය කරන සීනි මිල කිසිලෙසකින් හෝ ඉහළ නොදමන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.