Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නොරොච්චෝලේ ගල් අඟුරු නැවතුව නවතී – ලබන වසරේ සිට විදුලි කප්පාදුවකුත් එන බව ලංවිම කියයි

By News Team on November 9th, 2021 in Gossip

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙන ඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි ලංවීම කියා සිටී.

මේ සම්බන්ධයෙන් ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතාගෙන් කළ වීමසීමේදී ඒ මහතාද කියාසිටියේ ගල්අඟුරු මිල ඉහළ යෑම සහ ක්‍ෂණික මිලදී ගැනීමට අදාළව කැඳවූ ටෙන්ඩරය අවලංගු වීම නිසා ගල්අඟුරු නෞකා හයක් මෙරටට නොපැමිණි බවයි.

නමුත් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය වන මෙගාවොට් 900 න් මෙගාවොට් 300 බැගින් වන උත්පාදන යන්ත‍්‍ර එකක් හෝ දෙකක් නතර කර ඉන්ධන භාවිත කොට විදුලිය නිපදවිය හැකි විකල්ප විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කරන බවද ඒ මහතා කීය.

එලෙස ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීමේදී අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම ඊළඟ කාරණය බවත් ගල්අඟුරු මගින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15 ක් පමණ වනවිට ඞීසල් බලාගාරයකින් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ඉක්මවන බවද ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට වසරකට ගල්අඟුරු ටොන් ලක්‍ෂ 20 ක් පමණ අවශ්‍යය.

මේ අවස්ථාවේ යළි ටෙන්ඩර කැඳවූවත් ගල්අඟුරු ගොඩබෑමේ ගැටලූව මෙන්ම ගල්අඟුරු මිල ඉහළයෑම හා හිඟය නිසා එයද ගැටලූකාරී වී ඇති බවද ඒ මහතා කීය.

ලබන වසරේ අපේ‍්‍රල් මාසයෙන් පසු ඔක්තෝබර් දක්වා කාලයේදී වාරකන් නිසා ගල්අඟුරු ගොඩබෑම කළ නොහැකිවීමෙන් දැනට බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් අපේ‍්‍රල්වලට පෙර ගෙන්වා ගැනීමට සිදුව ඇත.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගන්නා ක‍්‍රමවේදය වන්නේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරුවලින් සියයට පනහක් වාර්ෂික ටෙන්ඩර් කි‍්‍රයා පටිපාටියට අනුව මිලදී ගැනීමය. ඉතිරි සියයට පනහ මිලදී ගන්නේ ක්‍ෂණික මිලදී ගැනීම් යටතේය.

ඉකුත් දින පනහක කාලයේ දී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබූ ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් මිලදී ගැනීමට අදාළව කැඳවූ ක්‍ෂණික මිලදී ගැනීම් ටෙන්ඩරය අහෝසිවීම නිසා මෙම ගැටලූව නිර්මාණය වී ඇත.

ගල්අඟුරු හිඟය, මිල ඉහළ යාම, ඩොලර් හිඟය හා ටෙන්ඩර් වලට මිල ගණන් ඉදිරිපත් නොකිරීමේ ගැටලූ මත ලබන වසරේ සිට මෙරට විදුලිබල අර්බුදය උග‍්‍ර අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ද අනතුරු අඟවා සිටී.

ශිරාන් රණසිංහ – දිවයින