නීතිය සහ සාමය ස්ථාපිත කරනු ලබන ආයතනයේ ප්‍රධානියාම නීතියට පටහැනිව කටයුතු කරන විට රටේ පුරවැසියන්ට නීතිය රැකීමට ආරාධනා කරන්නේ කෙසේදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි.
අති පූජ්‍ය කරගොඩල උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියන්ට අමරපුර මහා නිකායේ මහානායක පදවිය පිරිනැමීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
ආර්ථික සහ දේශපාලන වශයෙන් කොපමණ ජයග්‍රහණ ලැබුවද යහපත් සමාජයක් නිර්මාණය කර නොගතහොත් එම කිසිවකින් ඵලක් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙරට කඩා වැටී ඇති සමාජ දේහය යළි සුවපත් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවත් සහකම්පනය සහිත සමාජයක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපැවැත්ම වෙනුවෙන් බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික ශාස්තෘවරුන් දේශනා කළ විමුක්තියේ හරය පිළිබඳ ප්‍රබල කතිකාවතක් කඩිනමින් රටට අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.
බෞද්ධ කතිකාවත පිළිබඳ පනත සම්බන්ධයෙන් මේ වන විට මහානායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තිවල සංශෝධන කෙටුම්පත් කර අවසන් බවත් පැවසූ ජනාධිපතිවරයා එය ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කර සංඝ සංස්ථාව විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය බලය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව වෙත පැවරීමට කටයුතු කරන බවද පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න