පාතාල සෙල්ලම් ඉවරයි.. ජනපතිගෙන් දැඩි තීරණයක්.!

යටිබිම්ගතව පවතින අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඉතිහාසයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූයේ ජාතිවාදය සහ අන්තවාදය බවත්, ශ්‍රී ලංකාව තුළ නැවත ජාතිවාදයට හෝ අන්තවාදයට හිස එසවීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස (28) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමිනි.

“අපි මුහුණදෙන තර්ජනය තමයි, සංවිධානාත්මක අපරාධ කල්ලි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි හුදු අපරාධ කරුවන්ගේ එකතුවක්ම විතරක් නෙමෙයි. අනිත් අයත් අපරාධකරුවෝ තමයි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කාලාන්තරයක් මුළුල්ලේ, ඉතාමත් නිදැල්ලේ, දේශපාලන රැකවරණය සහිතව වර්ධනය වෙන්න ඉඩ දුන්නා. අපිට ඔබ නැගිටලා කිව්වොත් අපරාධකරුවෙකුගේ නමක්, ඒ නම හා සබැදි දේශපාලකයා මට කියන්න පුළුවන්.

මේක ඇත්ත. මේක සැගවුණු රහසක් නෙමෙයි. මේක අද විවෘතව මේ රටේ ජනතාව දන්නවා මේ, මේ අපරාධ කල්ලි පෝෂණය වුණේ කවර දේශපාලන නායකත්ව යටතේද කියන එක දන්නවා. එනිසා අද මේ අපරාධ කල්ලි මේ දක්වා වර්ධනය වෙන්න එම දේශපාලන නායකත්වය පෝෂණය කලා. එනිසා තමයි කියන්නේ “අමරෙ කලබල වෙන්න එපා මම ඇවිල්ලා ඉන්නෙ කියනකොට, අමරෙ නිහඩ වෙනවා.

ඇයි.? අමරෙ කටහඩින් අදුරනවා කවුද කියන්න. එහෙමයි. එතන ආවෙ කවුද කියලා නම කීවෙ නෑ. අමරෙ ඉන්නේ දුරක. පුද්ගලයා යන්නේ තව දුරකින්. කෑ ගහලා කියනවා, අමරෙ මම ඇවිල්ලා ඉන්නේ නිහඩ වෙන්න කියලා. ඒ කියන්නේ මොකක්ද තියෙන්නේ, හඩින් පවා අමරෙ දන්නවා තමන්ගේ නායකයා කවුද කියලා. එහෙමයි මේ අපරාධ කල්ලි වර්ධනය වුණේ.

අද කවුද මේ අපරාධ කල්ලිවල වර්ධනය පිළිබදව කිබුල් කඳුලු හෙලන්නේ. කවුද.? කවුද ආරක්ෂාව දුන්නේ.? කවුද පෝෂණය කළේ.? කවුද වර්ධනය කළේ.? මේ දේශපාලන අධිකාරිය. එනිසා මේ අපරාධ කල්ලි වර්ධනය වෙන්න මේ දේශපාලන අධිකාරිය ඒ පිටිපස්සෙන් හිටියා. ඒකට තිබුණ ආශිර්වාදය වෙනුවෙන්.

එනිසා අපරාධ කල්ලි එක්ක අපරාධ මැඩපැවැත්වීම සදහා තිබෙන ආයතනද එහි යම් යම් කුඩා පිරිස් ඒවත් එක්ක එකට ගැට ගැහෙන්න පටන් ගත්තා. දැන් ඕගොල්ලො දන්නවා, වීරකැටියේ දරුවො දෙන්නා සහ එම පුද්ගලයාගේ ඝාතනය, මිද්දෙණියේ අත්අඩංගුවට ගත්ත අය අතර පොලිස් කොස්තාපල් කෙනෙක් ඉන්නවා.

ඊළගට උසාවියේ වෙඩි තැබීම් පිළිබදව අත්අඩංගුවට ගත්තු අය අතර පොලිස් නිලධාරින් දෙන්නෙක් ඉන්නවා. ගල්කිස්සේ පොලීසියේ T56 අවිය පැහැරගෙන ගිහිල්ලා පාතාලයට දෙනවා. පොලිස් නිලධාරින් ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද.? දේශපාලන යාන්ත්‍රණයේ ආරක්ෂාව තිබුණා. පොලීසියේ යම් යම් කණ්ඩායම් මේ අපරාධ කල්ලි එක්ක සම්බන්ධතාවයක් තියෙනවා.

හොදට තේරුම් ගන්න මේ තත්ත්වේ. මේක ඔබ හිතන්නේ හුදු දඩයක්කාරයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. තුවක්කුවක් කරේතියාගෙන ගිහිල්ලා දඩයමක් පස්සේ හබාගෙන යන අපරාධ කරුවෙක් පිළිබදව ප්‍රශ්නයක් නෙමෙයි සමාජේ තියෙන්නේ. දේශපාලන රැකවරණ සහිතව, එය මැඩපැවැත්වීමට තිබෙන ආයතනයන්ගේ සබදතාව සහිතව මේ අපරාධ කල්ලි නිදැල්ලේ වර්ධනය වුණා.

ඒ අනුව තමයි එක් හමුදා කදවුරකින් T56 ගිනිඅවි 73ක් පාතාල කල්ලි ගාවට එනවා. රජයේ අවිආයුධ පාතාල කල්ලි වෙත ගලාගෙන යනවා. මෙහෙමයි තත්වය. එයින් 35ක් දැනට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තව 38ක් අත්අඩංගුවට ගැනීමට තිබෙනවා. මේ අවිආයුධ ආවේ අපේ කාලෙ නෙමෙයි. ඊට පෙර.

එනිසා මේ උඩ තියෙන නිත්‍යනූකූල රාජ්‍යය ඒ සමාන බරින් නොවුනොත්, ඒ ප්‍රමාණයෙන් නොවුනත් ඊට සරිලන යටි බිම්ගත අපරාධ රාජ්‍යයක් තියෙනවා. මේක ඇත්ත. අපිට ක්‍රියාමාර්ග දෙකක් ගන්න පුළුවන්. ඒ යටි බිම්ගත අපරාධ රාජ්‍යයත් එක්ක අනුගතවෙලා වැඩ කරන්න පුළුවන්. කවුරුත් මේකට අත ගහන්න ආවෙ නෑ. මේ හැමදෙනාම මොකද කරේ එම කල්ලියත් එක්ක අනුගතවෙලා වැඩේ කරගෙන ගියා.

මතක තියාගන්න, ජාතික ජන බලවේගය අපේ ආණ්ඩුව මේ යටි බිම්ගත අපරාධ කල්ලියත් එක්ක හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා. මතක තියාගන්න. ඒක කරන්න ඕන නැද්ද.? එනිසා සංවිධානාත්මක අපරාධ කල්ලි ඉතාමත් නිදැල්ලේ පෝෂණය වෙමින්, වර්ධනය වෙමින් තිබුණා. අද ඔබට මම ඉතාම වගකීමෙන් කියනවා, ආණ්ඩුවේ කිසිදු කෙනෙක්ගෙන් අපරාධ කල්ලියකට හෝ සාමාජිකයෙකුට කිසිදු රැකවරණයක්, ආරක්ෂාවක් සහ අනුසාසනාවක් ලැබෙන්නේ නෑ. එච්චරයි.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *