Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රසායනික පොහොර සඳහා වැය කරන මුදල ගොවි ජනතාවට ලබා දෙනවා – ජනපති

By News Team on July 2nd, 2021 in Local

වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොව තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීම බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

මීට පෙර අවස්ථා ගණනාවකදී පැවති ආණ්ඩු, කාබනික පොහොර වගාවට යොමුවීමට උත්සාහ කලද ඒවා අසාර්ථකවීමට වූ හේතු මැනවින් අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති කාර්යාලයේ ඊයේ (01) පැවති ගොවි හමුවකදී ජනාධිපතිවරයා කියාසිටියේ.

වැඩපිළිවෙළ අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක, කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කලා.

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මගීන් ලබාදී, ගොවියා අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වූයේ.

ජනාධිපති මාධ්‍ය අංශය