Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇමති බැසිල් රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවෙයි

By News Team on July 15th, 2021 in Local

රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පිරිසක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, රුසියාව, යුරෝපා සංගමයේ තානාපතිවරු හා බ්‍රිතාන්‍ය, ඉන්දීය මහ කොමසාරිස්වරුන් ඊයේ මුදල් අමාත්‍යාංශයේ දී මෙම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවට සහභාගී වූ බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙළ සඳහා සහය අපේක්ෂා කරන බවයි.

මහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සහ හරිත ආර්ථිකයක් කෙරෙහි රජය දක්වන උනන්දුව පිළිබඳ ප්‍රසාදය පළ කරන බවයි.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මුල් කාර්තුව තුළ 4.7% පමණ මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳව සතුටු දායක විය හැකි අතර එය ඉදිරියේ දී 5.5%ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වනු ඇති බවයි.

දැනට ශ්‍රී ලංකාව වෙත ලබා දෙන එන්නත් පහසුකම් අවශ්‍යතාව පරිදි ඉදිරියටත් ලබා දීමට චීනය කටයුතු කරන බවත්, එරට ඉහළ පෙළේ ආයෝජකයන් හම්බන්තොට කර්මාන්ත කලාපයට සම්බන්ධ කිරීමට සූදානම් බවත් චීන තානාපතිවරයා මෙම හමුවේ දී ප්‍රකාශ කලා.

දැනට දිවයින තුළ පවතින ජර්මානු තාක්ෂණ විද්‍යාලවල පහසුකම් ඉහළ නැංවීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජකයන් යොමු කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තම රජය අපේක්ෂා කරන බව ජර්මානු තානාපතිවරයා මෙම හමුවේ දී කියා සිටියා.

ද්වී පාර්ශ්වීය සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව අමෙරිකානු තානාපතිවරිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළා.

මෙහිදී රුසියානු තානාපතිවරයා කියා සිටියේ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ඉදිරියටත් සිය රජයේ සහය ලබා දෙන බවයි.

එන්නත් නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.