Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මින්නේරිය වනජීවී නිලධාරියාගේ රාජකාරියට බාධා කළ මේජර්ට ඇප

By News Team on July 1st, 2021 in Local

මින්නේරිය ජාතික උද්‍යානයේදී වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර්වරයා ඇප මත මුදා හැරීමට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි කැකිරාව මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා නියෝග කර ඇත්තේ.

සිද්ධියට අදාල යුද හමුදා මේජර්වරයා හබරණ පොලීසියට පැමිණිමෙන් පසු අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස ඇපමත මුදා හැර තිබෙනවා.

පසුගිය 23 වනදා සිදුවූ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් මෙන්ම හමුදා මේජර්වරයා විසින්ද වෙන වෙනම හබරණ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිලි 02 ම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය කියාසිටියා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පරීක්ෂණ මණ්ඩලයක්ද පත්කලා.

ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු එම පරික්ෂණ මණ්ඩලයට හමුදාපතිවරයා විසින් දන්වා ඇත්තේ මෙම සිද්ධියේ සියලූ කරුණු විමර්ශනය කර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ඉකුත් 23 වනදා රාත්‍රියේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ යුධ හමුදා වාහන 2 ක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම බහින්බස්වීම සිදුවූ බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.