Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහේලගේ සර්දන් බ්‍රෙව් කණ්ඩාම පළමු ද හන්ඩ්‍රඩ් තරඟාවලියේ ශූරයන් ලෙස කිරුළු පළදි

By News Team on August 22nd, 2021 in Sport

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම මෙරට වේලාවෙන් අද අලුයම(22) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී Birmingham Phoenix කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසියේ දිනූ Birmingham කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි Southern Brave පිතිකරුවන් නියමිත පන්දු සියය නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා ගනිමින්.

පෝල් ස්ටර්ලින්ග් පන්දු 36කින් වේගවත් ලකුණු 61ක් ලබා ගත්තේ හයේ පහරවල් 6ක් හා හතරේ පහර 2ක් සමගින්.

Ross Whiteley පන්දු 19කින් ලකුණු 44ක් නොදැවී රැස් කළා.(6×4, 4×4)

පන්දු යැවීමේ දී ඇඩම් මිල්න් පන්දු 20ක් තුළ ලකුණු 8කට කඩුලු 2ක් දවා ගත්තේ නිලකුණු පන්දු 14ක් වාර්තා කරමින්.

ඉම්රාන් තහීර්, Benny Howell හා ලියම් ලිවින්ග්ස්ටෝන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Birmingham Phoenix කණ්ඩායමට නියමිත පන්දු 100 නිමා කිරීමට සිදු වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබා ගනිමින්.

ලියම් ලිවින්ග්ස්ටෝන් පන්දු 19කින් ලකුණු 46ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඇතුළත්.

නායක මොයීන් අලී ලකුණු 36කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රෙයිග් ඕවර්ටන්, George Garton, Tymal Mills හා Jake Lintott එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනා ගත්තේ අවසන් තරගයේ දී Southern Brave කාන්තා කණ්ඩායම ලකුණු 48කින් පරාජයට පත් කළ Oval Invincibles කාන්තා කණ්ඩායමයි.