Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලෝක කුසලානයේ ඉදිරි තරඟ සඳහා මහේලගේ සහය ලැබෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි

By News Team on October 22nd, 2021 in Sport

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරඟය අද (22) පැවැත්වෙනවා.

නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලියේ පළමු තරඟ දෙක ජයගත් අතර ශ්‍රී ලංකාව මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) තරඟය පරාජයට පත් වුවත් A කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගැනීමට වැඩි අවසථාවක් හිමිවනු ඇති.

ඒ ශ්‍රී ලංකාව ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන්.

පළමු තරඟ දෙකේ දී අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් වෙනුවවට චරිත අසලංක කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් පිතිකරණ ලැයිස්තුවේ වෙනත් කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති.

බොහෝ දුරට සුපිරි 12 වටයේ ඉදිරි තරඟ රැසක් පවතින බැවින් වේග පන්දු යවන්නන්ට විවේකයක් ලබා දීමට අද (22) තරඟයේ සිදුවිය හැක.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරඟ සදහා ද හිටපු නායක මහේල ජයවර්ධනගේ සහාය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මේ වන විටත් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස එක්ව සිටින්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වට සඳහා පමණි.

කෙසේ වෙතත් සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සඳහා මහේල ජයවර්ධනගේ ඉහළ දායකත්වය ලැබීම හේතුවෙන් ඔහුගේ සහය තවදුරටත් ශ්‍රී ලංකා පිලට ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

මහේල ජයවර්ධනගේ සැලසුම් සහ මානසික තත්ත්වය ඉහළ නැංවීමට ගත් පියවර අගය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවස්ථා ගණනාවකදී අගය කරමින් අදහස් පළ කළා.