Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම හෙට සවස 04 දක්වා දීර්ඝ කරයි

By News Team on November 9th, 2021 in Local

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වල ද නුවර සහ නුවරඑළිය ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි.

ඌව සහ උතුරු පළාත්වලත් මාතලේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකියි.

මේ අතර දිස්ත්‍රික් 10 කට පණවා ඇති නාය යෑමේ අනතුරු ඇගවීම අද (09) පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල හා පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, අක්මීමන, යක්කලමුල්ල, බද්දේගම, කඩවත් සතර හා ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත, මතුගම හා බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇගවීම බලාත්මකයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නාරම්මල, මල්ලවපිටිය හා මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට හා උකුවෙල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇළපාත, කිරිඇල්ල, අයගම හා ඇහැළියගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද හෙට (09) පස්වරු 04 දක්වා නායයාමේ අනතුරු ඇගවීම බලාත්මකයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළ කෝරළේ, යටිනුවර, පස්බාගේ කෝරළේ, ගගවට කෝරළේ, උඩුනුවර, දොලුව, හාරිස්පත්තුව, පහත හේවා හැට හා උඩ පළාත මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට යටියන්තොට, අරණායක, බුලත්කොහුපිටිය, කෑගල්ල, රුවන්වැල්ල, රඹුක්කන, වරකාපොළ, ගලිගමුව, දැරණියගල සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහාද නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය බලපැවැත්වෙනවා.