Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කුෂිනගර් ගුවන් තොටුපොළ නිල වශයෙන් අද විවෘත වෙයි – පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන්

By News Team on October 20th, 2021 in Local

ඉන්දියාවේ කුසිනාරා නුවර පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද (20) නිල වශයෙන් විවෘත කෙරෙනවා.

කුෂිනගර් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වනු ලබන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා.

පසුගිය වසරේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද ප්‍රකාශ කර තිබුණේ කුසිනාරා නුවර ගුවන් තොටුපොළට ළගා වන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් රැගත් ගුවන් යානයක් වනු ඇති බවයි.

ඒ අනුව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි අනුනාහිමියන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් මංගල ගුවන් ගමනෙන් කුෂිනගර් ගුවන් තොටුපළ දක්වා වැඩම කිරීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මීට එක්වනු ඇති.

ඔවුන් සියලූ දෙනා හෙට (21) පස්වරුවේ නැවතත් කොළඹට ළගාවීමට නියමිතයි.

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා ද මෙම ගුවන් යානයෙන් ඉන්දියාවට වැඩම කෙරෙනු ඇති.

කුෂිනගර් සහ සාරානාත් ඇතුළු ඉන්දීය නගර රැසක දී මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කලා.