Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම්

By News Team on January 25th, 2022 in Local

නියමිත මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම අධිකාරිය පසුගිය දින කිහිපය තුළ කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56ක් වටලා ඇති බවයි වාර්තා වනවා.

පාරිභෝගික පනතට අනුව සිමෙන්ති විකිණීම ප්‍රතික්ෂේප කිරීම, සන්තකයේ තබාගෙන නොමැති බව කීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සඟවා තබා ගැනීම නොකළ යුතුයි.

සන්තකයේ නොමැති බව කීම හා තොග සගවා තබාගැනීම යන වැරදි කරනු ලබන වෙළෙඳුන් සතු සිමෙන්ති තොග තහනම් කිරීමටත් එම තොග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලතල ඇතැයි අධිකාරිය නිකුත් කල නිවේදනයක සඳහන්.

ඒ අනුව නීති උල්ලංඝනය කරනු ලබන අලෙවිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත ප්‍රකාරව කටයුතු කරන බව ද ඔවුන් දන්වා සිටිනවා.