Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දියාවේ ලෝක කුසලාන බලාපොරොත්තුව තවත් දුරස් වෙයි

By News Team on November 1st, 2021 in Sport

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සිය දෙවැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය ඊයේ (31) සමත් වුණා.

ඒ, තරගාවලියේ 27 වන තරගයෙන් නැමීබියාවට එරෙහිව ලකුණු 62ක ජයක් වාර්තා කරමින්.

අබුඩාබි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා.

මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 45ක් ද, හස්රටුල්ලා සසායි ලකුණු 33 ක් ද රැස් කළා.

සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ හිටපු නායක අස්ගර් ඇෆ්ඝන් ලකුණු 31කට දැවී ගිය අතර, නායක මොහොමඩ් නබී නොදැවී ලකුණු 32යි.

පන්දු යැවීමේ දී Ruben Trumpelmann හා Jan Nicol Loftie-Eaton කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි.

ඩේවිඩ් වීසා ලකුණු 26ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී නවීන් උල් හක් හා හමිඩ් හසාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මේ අතර ඊයේ (31) පැවැති අනෙක් තරඟයෙන් නවසීලන්තය ඉන්දියාව පරදා කඩුලු 8ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නවසීලන්තයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුණා.

ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණයි.

ඔවුන්ගේ ඉනිමේ හත්වන පන්දුවාරයේ සිට 15 වන පන්දුවාරය දක්වා කිසිදු හතරේ පහරක් වාර්තා නොවූ අතර එවැන්නක් මෙවර ලෝක කුසලානයේ දී සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාවේ වැඩිම ලකුණුලාභියා වූ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 26ක් ලබා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23ක්.

මෙම තරඟයේදී ඉන්දීය ඉනිම ආරම්භ කළේ ඉෂාන් කිෂන් සමගින්ම කේ එල් රාහුල්. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 4කට හා 18කට දැවී ගියා.

අංක 3 පිතිකරු රෝහිට් ෂර්මා පළමු පන්දුවෙන්ම ලබාදුන් පහසු උඩපන්දුවක් ඇඩම් මිල්න් අතින් ගිලිහී ගියා.

කෙසේ වෙතත්, ඔහු ද මෙම ඉනිමේ දී ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි. නායක විරාට් කෝලි පන්දු 17කින් ලකුණූ 9ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් ද, ඉෂ් සෝදි කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ජයග්‍රහි ඉලක්කය පහසුවෙන් පසු කර ගියේ පන්දුවාර 14.3ක් අවසානයේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

ඩැරල් මිචෙල් ලකුණු 49ක් හා කේන් විලියම්සන් නොදැවී ලකුණූ 33ක් රැස් කළා.

මෙම පරාජය හේතුවෙන් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ ඉන්දියාවේ බලාපොරොත්තුද මේ වන විට අවධානමකට ලක්ව තිබෙනවා.