Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් කටින් පමණක් ක්‍රිකට් ගසයි – පළමු තරඟයෙන්ම ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ අන්ත පරාජයක් ලබයි

By News Team on June 24th, 2021 in Sport

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කාර්ඩිෆ් හි සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 129ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක මුල් පන්දුවාර 5 තුළදී බිඳ වැටුණා.

නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 30යි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැඳ පෙළ ක්‍රීඩකයින් මෙවරද අසාර්ථක වූ අතර උපනායක කුසල් මෙන්ඩිස් ලකුණු පන්දු 12කින් ලකුණු 09ක් පමණක් ලබාගැනීමට සමත් වුණා.

2021 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වාර්ෂිකව ලැබෙන කොන්ත්‍රාත්තුවේ ඉහළ මිළක් නියමවූ ධනංජය ද සිල්වා ලබාගත්තේ ලකුණු 3ක් පමණි.

බිඳ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ගොඩගැනීමට තරඟයේ අවසන් පන්දුව තෙක් සටන් කළ දසුන් ශානක පන්දු 44කින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා.

කණ්ඩායමේ අනෙක් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 10 සීමාව පසුකර යාමට හැකි නොවූ අතර එංගලන්තය වෙනුවෙන් සෑම් කරන් සහ අඩිල් රෂිඩ් කඩුලු දෙක බැඟින් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17යි 1ක් පන්දුවකදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එංගලන්තයේ ආරම්භක කඩුල්ල සඳහා ජෝස් බට්ලර් සහ ජේසන් රෝයි ලකුණු 80ක සබඳතාවක් ගොඩනැගුවා.

ජේසන් රෝයි ලකුණු 36කට දැවී ගිය අතර බට්ලර් පන්දු 55කින් ලකුණු 68ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැඟින් බිඳ හෙලු අතර වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළදී ලබා දුන්නේ ලකුණු 12ක් පමණි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි තරඟය අද (24) පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතයි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්,