Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කාලගුණය වෙනස් නොවුණොත් වසා දැමු පහළ කඩුගන්නාව පාර විවෘත කිරීම කල් යයි

By News Team on November 11th, 2021 in Local

නාය යෑමේ අවධානමක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වසා දැමු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය හෙට (12) උදෑසන 09 තෙක් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

අද (11) එම ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නිරීක්ෂණය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන් ද එක්ව සිටියා.

මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට පසුගිය දින කිහිපයේ දැඩි වර්ෂාපතනයක් ඇඳ හැලුනා.

මෙම කාලගුණ තත්ත්වය හමුවේ කඳුකර ආශ්‍රිතව සුළු නා යෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වුණා.

එවැනි පස් කඳු කඩා වැටීමක් ඊයේ (10) කොළඹ මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පළතුරු වෙළෙඳසැල් පිහිටා ඇති ප්‍රදේශයේ සිදු වුණා.

මේ අනතුරුදායක තත්ත්වය හමුවේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණා.

මාර්ග සංවර්ධන අධිකාරිය විශ්වාශය පළ කරන්නේ මේ වනවිට ප්‍රදේශය බලපවත්වන යහපත් කාලගුණික තත්ත්වය එලෙසම පැවතුණහොත්, හෙට (12) උදෑසන 9 පමණ වනවිට මාර්ගය විවෘත කළ හැකි බවටයි.