Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාව එක තරඟයක් හෝ ජයගතහොත් මම පුදුම වෙනවා – සංජය මන්ජ්රේකා

By News Team on July 19th, 2021 in Sport

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා 20යි 20 තරගාවලි අතරින් එක් තරගයක් හෝ ශ්‍රී ලංකාව ජය ගතහොත් තමා පුදුමයට පත් වන බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන සංජයි මන්ජ්රේකා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉන්දීය කණ්ඩායම කිසිසේත්ම දෙවන පෙළ කණ්ඩායමක් ලෙස සැලකිය නොහැකි බවයි.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වෙත අදහස් දක්වමින් සංජයි මන්ජ්රේකා මේ බව කියා සිටියා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක නිරතව ඇති බැවින් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා සංචාරය සදහා නම් නොකිරීමටයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ.

ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 10 දෙනෙකුම මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගෙන ද නැහැ.

IPL තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් රැසකට ශ්‍රී ලංකා තරග සංචාරය සදහා අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

ඉන්දීය සංචිතයට ඇතුළත් නායක ශිකර් ධවාන් හා හර්ඩික් පාන්ඩ්යා යනු තරග වෙනස් කළ හැකි දෙදෙනෙකු බව සංජයි මන්ජ්රේකා වැඩිදුරටත් සදහන් කර සිටියා.

කුල්දීප් යාදෙව් හා මනීෂ් පාන්ඩේට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවමත් දක්ෂතා ප්‍රදර්ශනය කළ හැකි බවට සනාත කිරීම සදහා යළිත් අවස්ථාවක් උදා වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් කඩුලු 07 ක ජයක් ලබාගැනීමට සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (18) සමත්වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය් පැවති තරගයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 262 ක් ලබා ගත්තා.

චාමික කරුණාරත්න නොදැවී 43 ලබා ගත් අතර නායක දසුන් ශානක 39 ක්ද, චරිත් අසලංක 38 ක්ද, අවිශ්ක ප්‍රනාන්දු 32 ක්ද ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දියාව පන්දුවාර 36 යි පන්දු 04 කදී කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ෂිකර් ධවාන් නොදැවී 86 යි. ඉෂාන් කිෂාන් 59 ක්ද තරගයේ වීරයා වූ ප්‍රිතිවි ෂා 43 ක්ද රැස් කලා.

ධනංජය ද සිල්වා කඩුලු 02 ක් බිඳ හෙලීමට සමත් වුණා.

දෙවන එක්දින තරගය හෙට (20) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.