Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දේශීය සහ විදේශීය ගුවන් මඟීන් සඳහා පණවා තිබූ මාර්ගෝපදේශ තවදුරටත් සංශෝධනය වෙයි

By News Team on September 29th, 2021 in Local

මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා පණවා තිබූ මාර්ගෝපදේශ තවදුරටත් සංශෝධනය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්, නාවිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ මාලාවට අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු හෝ ඇය පැමිණෙන රටේදී පැය 72 කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරට දී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අවශ්‍ය වන්නේ නැහැ.

එම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන්තොටුපොළ දෙක සඳහාම ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස ඔවුන් සිටින හෝටලය වෙත යෑමට අවස්ථාව හිමිවන අතර එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇති.

එහෙත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් නිවෙස් කරා යා හැකියි.

එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකියි.