Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරන්න රජයේ අවධානය යොමු වෙයි

By News Team on July 12th, 2021 in Business

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනූව දීර්ඝ කාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වාදීම සහ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත්කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලබනවා.

ඩිජිටල් සංචාරකයින් බොහෝ විට මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති විනයක් සහිතව කටයුතු කරන පිරිසක් වන අතර මාස කීපයක්, අවුරුදු ගණනක් ආදී වශයෙන් රට අභ්‍යන්තරයේ රැඳී සිටිම නිසා ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ සංසරණය වීම විශේෂත්වයක්.

ඩිජිටල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ බොහෝ රටවල් පියවර ගෙන ඇති අතර පෘතුගාලයේ – ලිස්බන්, කොලොම්බියාවේ – මෙඩලින් සහ ඉන්දුනීසියාවේ – බාලි යන ප්‍රදේශ දැනට ඩිජිටල් සංචාරකයින්ගේ ප්‍රකට ගමනාන්ත ලෙසයි හැදින්වෙන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීම සහ බදු සහන ලබාදීමට පියවර ගනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කල බව අමාත්‍යාංශ නිවේදනයේ සදහන්.