Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වුහාන් නගරයට යළිත් කොරෝනා අවධානමක් !

By News Team on August 4th, 2021 in International

කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස හැඳින්වෙන චීනයේ වුහාන් නගරයේ ජීවත් වෙන සියලුම පුද්ගලයින් නැවත වරක් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වසරකට පසු නැවතත් එම නගරයෙන් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙක් වාර්තා වීමත් සමඟයි.

එරට මාධ්‍ය වාර්තා කර සිටියේ වුහාන් නගරයේ ජිවත් වන මිලියන 11ක ජනතාවක් මෙලෙස කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බවයි.

පසුගිය දින 10 තුළදී චීනයේ ප්‍රාන්ත 15කින් කොරෝනා ආසාධිතයින් 300 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ එරට සෞඛ්‍ය අංශ සහ රජය තීරණය කර ඇත්තේ එම ප්‍රාන්තවල විශාල වශයෙන් කොරෝනා පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කිරීමටයි.

චීන බලධාරීන් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය සමඟ චීනයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගිය බවයි.

පසුගියදා චීනයේ නැන්ජීයෑන්ග් ගුවන් තොටුපොළට රුසියාවේ සිට පැමිණි ගුවන් යානයක පවිත්‍රතා කටයුතු කළ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාධිත බව හඳුනා ගැනීමත් සමඟ චීනය තුළ නව කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වුණා.

ඊට අමතරව චීනයේ අගනුවර වන බිජිං අගනුවරින් ද කොරෝනා ආසාධිතයින් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ විශාල කොරෝනා රැල්ලක් චීනය තුළ නැවත වරක් ඇති විය හැකි බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.