Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රසකැවිලි නිෂ්පාදකයොත් රට හැර යෑමේ සුදානමක් – කර්මාන්ත ශාලා රැගෙන බංග්ලාදේශයට යාමේ තීරණයක්?

By News Team on November 19th, 2021 in Exclusive Story

2022 අයවැයෙන් කර්මාන්ත සඳහා අවශ්‍ය සහන ලබා නොදීම සහ නිෂ්පාදන වියදම් අධික ලෙස ඉහළ යාම හේතුවෙන් වාර්ෂිකව මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ විදේශ විනිමයක් උපායා දෙන රස කැවිලි කර්මාන්තකරුවන් සිය කර්මාන්ත රටින් පිටතට ගෙන යාමට සුදානමින් සිටිනා බව වාර්තා වනවා.

ශ‍්‍රී ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්.ඞී. සූරියකුමාර් මහතා ඩේලි එෆ්. ටී පුවත්පතට අදහස් දක්වමින් කියා සිටින්නේ ගෙවී ගිය මාස 6 තුළදී පමණක් අමුද්‍රව්‍ය මිල 10% – 20% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

තවද අමුද්‍රව්‍ය මිල ඉහළ යාමට අමතරව – බැංකු විසින් ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් වරායට පැමිණෙන යෙදවුම් මුදා ගැනීමට දින 15ත් 20ත් අතර කාලයක් ප්‍රමාදයක් වන බවත් ඒ සඳහා වෙනම ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් නිෂ්පාදන මිල ඉහළ යාමට බලපා ඇති අතර, එසේ මිල ගණන් ඉහළ යාමෙන් ජාත්‍යන්තර වෙළඳ පොළේ තරඟ කිරීම සඳහා බාධාවක් ඇති වන බවද ඒ මහතා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට නිෂ්පාදනය කරනු ලබන රසකැවිලි ලෝකයේ රටවල් පනහකට ආසන්න ප‍්‍රමාණයකට අපනයනය කරනු ලබන ලෝකප‍්‍රකට වෝල්මාර්ට් සහ ලූලූ වැනි සුපිරිවෙළද සැල් ජාලා තුළද අපගේ රසකැවිලි අලෙවි කරනු ලබනවා.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ රජය, රසකැවිලි කර්මාන්තය මුහුණ දීතිබෙන මෙම අර්බුදයන් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සූදානම් නොවීම යන හේතු මත, රසකැවිලි කර්මාන්ත කරුවන් මෙරට අත්හැර වෙනත් ආසියාතික රටවල් කරා යාමේ සූදානමක් පවතින බවද සූරියකුමාර් මහතා පවසනවා.

විශේෂයෙන්ම, රසකැවිලි නිෂ්පාදකයන් ඔවුන්ගේ කර්මාන්ත ශාලා බංග්ලාදේශය, තායිලන්තය, වියට්නාමය හෝ ඉන්දුනීසියාව වෙත ගෙන යාමට සැලසුම් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

එම රටවලද මේ වන විට අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇතත්, ඒ මෙරටෙහි තරම් විශාල අගයකින් නොවන බවයි ඔහු පවසා ඇත්තේ.

රසකැවිලි කර්මාන්තයට සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වී සිටින පුද්ගලයන් ගණන 550,000 ක් පමන වන බවත් කර්මාන්ත ශාලා මෙරටින් ඉවත්ව ගියහොත් එම පිරිස රැකියා විරහිතයන්ගේ ගොඩට වැටෙන බවත් ඔහු පවසයි.