Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

චීනයේ ප්‍රතිචාර දරුණු වෙයි – මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව නිල වශයෙන් දැනුම් දෙයි

By News Team on October 29th, 2021 in Local

දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.

ඔවුන් සඳහන් කළේ, තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ කාර්යාලය විසින් මෙම පියවර ගනු ලැබූ බවයි.

මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදුකරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායන්ට දැනුම් දෙන බව චීන තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබෙනවා.

පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ චීනයේ චින්දාඕ සීවිං බයෝටෙක් සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරනවා.

චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතල පාඩුවක් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් චීන සමාගම එවූ පොහොර සාම්පල 2 ක අහිතකර බැක්ටීරියා හමුවීම හේතුවෙන් මෙම පොහොර තොගය මිලදී නොගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිටත් තීරණය කර අවසන්.

ඊට අදාළව රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ චීන සමාගමට ණයවර ලිපිවල සඳහන් මුදල් ගෙවීමෙන් වළකින ලෙස මේ වනවිට අතුරු නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.