Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්ධන මිළ යළිත්වරක් ඉහළ දමන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙයි – එත් මිල වැඩි කිරීමේ වගකීම භාර ගන්න කවුරුවත් නෑ

By News Team on February 2nd, 2022 in Exclusive Story

මේ වන විට මෙරට ජනතාව දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීමේ සුදානමක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීම සම්බන්ධව සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

Zoom තාක්ෂණය ඔස්සේ පැවැති මෙම කැබිනට් හමුව අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ඒ අනුව ඉන්ධන මිල නැවත වරක් ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය ඉල්ලීම් කර ඇති අතර ඊට මුදල් අමාත්‍යාංශය යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

මේ සම්බන්ධව මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් ලබාදුනහොත් පමණක් ඉදිරියේ ඉන්ධන ආනයනය කළ හැකි බවයි.

ඒ හේතුවෙන් ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම ගැනීමට තමාට නොහැකි බව ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

ඊට ප්‍රතිචාර ලෙස මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පාඩුවට මෙරට ඉන්ධන විකිණීමට ඩොලර් ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම ගැනීමට අමාත්‍යවරුන් දෙදෙනාම ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්මන්පිල අමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ වගකීමක් බවයි.

එහි වගකීම තමා සතුව නොමැති බවත් ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම මුදල් ඇමතිවරයා සතු බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවසන්වරට රැස්වූ ජීවන වියදම් කමිටු රැස්වීමේ දී ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමඟ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා බලශක්ති අමාත්‍යවරයාට විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විරෝධය පළ කළා.

කෙසේ වෙතත් වරක් ආණ්ඩුවේ පිරිසක්ම කියා සිටියේ එවක වැඩි වූ ඉන්ධන මිල යළි අඩු කිරීමට නම් බැසිල් රාජපක්ෂ මහතාහට මුදල් ඇමති ධුරය ලබා දිය යුතු බවයි.

දේශපාලන ආරංචි මාර්ග වාර්තාවලට අනුව කැබිනට් මණ්ඩලයේ මෙම වාග් සංග්‍රාමය හමුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිහඬ පිළිවෙතක සිටි බවයි වාර්තා වන්නේ.