Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොදෙව්වන් හමුවේ බංග්ලාදේශ කණ්ඩායම පිට පිට තුන්වන පරාජයත් ලබයි – ඇෆ්ඝන් පන්දු යවන්නෝ පාකිස්ථානයට ජය පුද කරයි

By News Team on October 30th, 2021 in Sport

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ තවත් තරඟ දෙකක් ඊයේ (29) පැවැත්වුණා.

එම තරඟවලින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම ජය ලබා ගැනීමට සමත් වුණා.

පළමු තරඟය ලෙස සජාහිදී පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බටහිර ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 142ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 18කදී කොදෙව් ආරම්භක පිතිකරු යුගලය යළි ක්‍රීඩාගාරය වෙත යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොස්ටන් චේස් ලකුණු 39ක් ලබාගත් අතර නිකලස් පූරාන් පන්දු 22කදී වේගවත් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවන් ලෙස සැලකෙන ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, ඇන්ඩ්‍රි රසල් හට සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී මෙහෙදී හසාන්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු දෙක බැඟින් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 143ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වුයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් පමණි.

පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා ආරම්භ පිතිකරුවෙක් ලෙස පැමිණි ශකිබ් අල් හසන් ලකුණු 9කට දැවී ගියා.

බංග්ලාදේශය වෙනුවෙන් ලිටොන් දාස් ලකුණු 44ක් රැස් කළ අතර, නායක මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී රවී රාම්පෝල්, ජේසන් හෝල්ඩර්, ඇන්ඩ්‍රි රසල්, අකීල් හුසෙයින් හා ඩ්වේයන් බ්‍රාවෝ එක් කඩුල්ල බිඳ හෙලුවා.

මේ පරාජයත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට සුපිරි 12 වටයේ තරඟ 3ක්ම පරාජයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායමේ මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන තරඟාවලිය කෙරෙහි යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි වනවා.

මේ අතර ඊයේ (29) පැවැති අනෙක් තරඟයෙන් සුපිරි ජයක් ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් ලබා ගනිමින්.

ඩුබායි හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානය පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝන් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 147ක් ලබාගැනීමට සමත් වුණා.

ඔවුන්ගේ ඉනිමේ ලකුණු 76කට කඩුලු 6ක් දැවී තිබියදී පිටියේ සිටි නායක මොහොමඩ් නබී හා ගුල්බදීන් නයිබ් පන්දු 45කදී නොබිඳුණු ලකුණු 71ක සබඳතාවක් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා.

ඔවුන් දෙදෙනාම නොදැවී ලකුණු 35 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉමාඩ් වසීම් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක බබාර් අසාම් ලකුණු 51ක් සහ ෆකාර් සමාන් ලකුණු 30 ලබා ගැනීමට සමත් වුණා.

පාකිස්ථානයට ජය ගෙන ආ අසිෆ් අලී පන්දු 7කදී ලකුණු 25ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහරවල් 4ක් ද සමඟින්.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරඟ ජයග්‍රහණයත් සමඟ පාකිස්ථාන කණ්ඩායම තවදුරටත් අපරාජිතව B කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටිනවා.