Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බංගලි කොටි පැටව් සිංහයන් ඉදිරියේ දමනය වෙයි

By News Team on October 25th, 2021 in Sport

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 වටයේ මුහුණ දුන් පළමු තරඟයේ විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24) සමත් වුණා.

බංග්ලාදේශය සමඟ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ කඩුලු 5කින්.

සාජාහි පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම පන්දු යැවීමටයි තීරණය කළේ.

තරඟය ආරම්භයට පෙර සිටම බංග්ලාදේශය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් අවතක්සේරු මට්ටමක පසුවන ප්‍රකාශ නිකුත් කරමින් සිටියා.

කෙසේ වෙතත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබාගත්තා.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක් ගොඩනැගීමට ලිටෝන් දාස් සහ මොහොමඩ් නයීම් සමත් වුණා.

එම සබඳතාව බිඳ දමමින් ලිටෝන් දාස් ලකුණු 16කට දවා ගැනීමට ළහිරු කුමාර සමත් වූ අතර, අනතුරුව ඔවුන් දෙදෙනා අතර උණුසුම් වච්චන හුවමාරුවක් ද සිදු වුණා.

තත්ත්වය පාලනය කිරීම සඳහා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් හා විනිසුරුවන්ටද මැදිහත් වීමට සිදු වුණා.

ශකිබ් අල් හසාන්ට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 10ක් පමණි.

ඉන් අනතුරුව මොහොමඩ් නයීම් සහ මුෂ්ෆිකර් රහීම් අතරේ තුන්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 51කදී ලකුණු 73ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඩ් නයීම් පන්දු 52කින් ලකුණු 62ක් ලබාගත් අතර මුෂ්ෆිකර් රහීම් පන්දු 37කින් ලකුණු 57ක් ලබාගත් ඔහුගේ ඉනිමට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහර 5ක් ඇතුලත්.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න, ළහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 1කට දැවී ගියා.

ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක හා චරිත් අසලංක පන්දු 45කදී ලකුණු 69ක් සබඳතාවක් ගොඩනැගුවා.

පැතුම් නිස්සංක ලකුණු 24ක් ලබා සිටියදී ශකිබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

පැතුම් නිශ්ශංකගෙන් පසු පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ වනිඳු හසරංගට සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඉන් අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් භානුක රාජපක්ෂ හා චරිත් අසලංකා අතර පන්දු 52කදී ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගුවා.

භානුක රාජපක්ෂ පන්දු 31කදී වේගවත් ලකුණු 53ක් රැස් කළ අතර ඊට හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී කඩඉමට ගෙන ගිය චරිත් අසලංක පන්දු 49කදී නොදැවී ලකුණු 80ක් ලබාගත් අතර ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 5කින් වර්ණවත් වුණා.

මේ අතර ඊයේ (24) පැවැති තවත් තරඟයක් පිළිබඳ ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමුව තිබුණා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැති මෙම තරඟයෙන් පකිස්ථාන කණ්ඩායම කඩුලු 10ක සුපිරි ජයක් ලබා ගැනීමට සමත් වුණා.

මෙය ඉතිහාස ගත වුයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියකදී ඉන්දීය කණ්ඩායම පාකිස්ථානය හමුවේ තරඟයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසයි.

ඊට අමතරව ඉන්දියාව කඩුලු 10කින් විස්සයි විස්ස තරඟයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

ඩුබායි හි පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දියාව ලබාගැනීමට හැකි වුයේ කඩුලු 7කට ලකුණු 151ක් පමණි.

තරඟයේ ආරම්භයේ සිටම පාකිස්ථාන කණ්ඩායම ඉන්දියාවට සාර්ථක ඉනිමක් ගොඩනැගීමට ඉඩක් ලබා නොදීමට කටයුතු කළා.

පළමු පන්දුවාරයේ දී රෝහිත් ෂර්මා කිසිඳු ලකුණක් නොලබා ශහීන් ශාහ් අෆ්රිඩිගේ යෝකර් පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී ගිය අතර ලෝක්ෂ් රාහුල් ලකුණු 3ක් ලබා සිටි අවස්ථාවේ දී අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන්දියාව වෙනුවෙන් නායක විරාට් කෝලි පන්දු 49කදී ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 17යි පන්දු 5කදී කිසිඳු කඩුල්ලක් නොදැවී පසුකර යාමට සමත් වුණා.

පාකිස්ථානය කණ්ඩායම ජයග්‍රාහී ඉල්ලකයට රැගෙන යාමට සවිමත් සබඳතාවක් ගොඩනැගු මොහොමඩ් රිස්වාන් පන්දු 55කින් ලකුණු 79ක් ලබාගත් අතර ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

නායක බබාර් අසාම් පන්දු 52කින් නොදැවී ලකුණු 68ක් ලබාගත් අතර හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඊට ඇතුළත්.

ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා.

ඒ ඇෆ්ඝනිස්ථානය සහ ස්කොට්ලන්තය අතරද, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.