Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සුපිරි 12 වටයේ තරඟවලින් ඕස්ට්‍රේලියාවට එංගලන්තයට ජය

By News Team on October 24th, 2021 in Sport

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග ඊයේ (23) ආරම්භ වුණා.

පළමු කාණ්ඩයේ තරගයක් වූ සුපිරි 12 වටයේ පළමු තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

එම තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

අබුඩාබිහි පැවති තරගයේ කාසිය වාසිය දිනු ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 පමණයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 40ක් ද, ඩේවිඩ් මිලර් ලකුණු 16ක් ද කාගිසෝ රබාඩා නොදැවී ලකුණු 19ක් ද රැස් කළා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ් හා ඇඩම් සම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

නායක ආරෝන් ෆින්ච් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

ස්ටීවන් ස්මිත් ලකුණු 35ක් ලබාගත් අතර, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 18ක් ද, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 14ක් ද රැස් කළා.

ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය මාර්කස් ස්ටොයිනිස් පන්දු 16කින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා කඩුලු 2ක් දවා ගත් අතර, කාගිසෝ රබාඩා, කේෂාව් මහරාජ් හා ටැබ්රයිස් ශම්සි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මේ අතර මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේ සුපිරි 12 වටයේ දෙවැනි තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය ඊයේ (23) සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ 20යි 20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

කොදෙව් ඉනිම පන්දුවාර 14.2 ක් තුළ ලකුණු 55කට සීමා වුණා. එය 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ද ඊයේ වාර්තා වුණේ ශ්‍රී ලංකාව විසින් නෙදර්ලන්තය ලකුණු 44කට සීමා කිරීමත් සමගයි.

කොදෙව් ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළේ ක්‍රිස් ගේල් පමණයි. ඔහු ලකුණු 13කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ අඩිල් රෂීඩ් පන්දුවාර 2.2ක් යොමු කරමින් ලකුණු 2කට කඩුලු 4ක් දවා ගත්තා.

මොයීන් අලී හා Tymal Mills කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ලකුණු 56ක ඉලක්කය පහසුවෙන් ළගා කර ගැනීමට කොදෙව්වන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, එංගලන්තය පන්දුවාර 8.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 24ක් ද, ජේසන් රෝයි ලකුණු 11ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අකීල් හුසෙයින් (Akeal Hosein) කඩුලු 2ක් හා රවී රාම්පෝල් කඩුල්ලක් දවා ගත්තා.