Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති ඉවත් කරගනී

By News Team on August 4th, 2021 in Local

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුලු නාවික හමුදා නිළධාරීන් 14 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුවේ වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව පවතින චෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල ඉදිරියේදී එම නඩුව අද (04) පෙරවරුවේ කැදවු අවස්ථාවේදීයි.

2008-2009 කාලසීමාවේදී කොළඹ ප්‍රදේශයේ තරුණයින් 11 දෙනෙක් කප්පම් ලබාගැනීම සදහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමක් සම්බන්ධවයි වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිළධාරීන් 14 දෙනාට චෝදනා එල්ල වී තිබුණේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජනක බණ්ඩාර මහතා අද (04) පෙරවරුවේ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේ කරන්නාගොඩ මහතා විසින් මෙම නඩුවට එරෙහිව ගොණු කරන ලද රිට් පෙත්සමක් ලබන 30 වෙනිදා අභියානාධිකරණය හමුවේදී කැදවීමට නියමිත බවයි.

නීතිපතිවරයාගේ මෙම තීරණය අභියාචනාධිකරණය වෙතද දැනුම්දීමට බලාපොරොත්තු වන බව ජනක බණ්ඩාර මහතා අද අධිකරණය හමුවේ කියා සිටියා.

එහිදී කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නීතිපති පාර්ශවය වෙත දැනුම් දී ඇත්තේ අභියානාධිකරණය විසින් ලබන 30 වෙනිදා ලබාදෙන තීරණය මෙම නඩුව නැවත කැදවීමට නියමිත සැප්තැම්බර් 22 වෙනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වෙත ප්‍රකාශ කරන ලෙසයි.