Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කුපිත වූ කින්නියා ප්‍රදේශවාසීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කරයි

By News Team on November 23rd, 2021 in Local

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළීමෙන් පසු කුපිත වූ ප්‍රදේශවාසීන් පිරිසක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පහරදීමෙන් මන්ත්‍රීවරයාගේ නිවසට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ ද කින්නියා ප්‍රදේශයේයි.

අද (23) පෙරවරුවේ සිදුවු මෙම අනතුරින් එක් පවුලක 03 දෙනෙකු, තවත් පවුලක දෙදෙනෙක ඇතුලු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.

තවත් 20 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

දීර්ඝ කාලයක් පුරා කුරින්චන්කේනි පාලම ප්‍රතිසංස්කරණය අවසන් නොවීම හේතුවෙන් මෙම පාලම් පාරුව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

මෙම සිද්ධියෙන් පසු අද (23) දහවල් කින්නියා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගත් අතර ප්‍රදේශවාසීන් ටයර් පුලුස්සමින් මාර්ගයේ විරෝධතාවයකද නිරත වුණා.

මේ අතර පාසල් දරුවන් ඇතුලු 6 දෙනෙකුට දිවි අහිමි කරමින් අද (23) උදෑසන සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමුවුණා.

එහිදී ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කියා සිටියේ කින්නියා කුරිඥ්ඥන් කර්නි පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් කලපුව හරහා ගමන් කිරීමට යොදා තිබූ පාලම් පාරුව කිසිඳු ප්‍රමිතියකින් තොරවීම මෙම අවාසනාවන්ත සිද්ධියට හේතු වූ බවයි.

එබැවින් මේ පිළිබඳ වහා සොයා බලන ලෙසයි මන්ත්‍රිවරයා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.