Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පන්නිපිටියේ නිවසක පිපිරීමක්

By News Team on November 25th, 2021 in Local

කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක අද (25) අළුයම පිපිරීමක් සිදුව තිබෙනවා.

කොට්ටාව පොලීසිය සඳහන් කළේ මෙම පිපිරුම සිදුව ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් බවයි.

පිපිරීමෙන් නිවසට දැඩි හානි සිදුව ඇති අතර අනතුරෙන් නිවැසියන්ට කිසිඳු හානියක් සිදුව නැහැ.

අනතුර සම්බන්ධයෙන් නිවැසියන් මේ මාධ්‍ය වෙත අදහස් පළ කළා.

“පාන්දර 4ට විතර ලොකු ශබ්දයක් ආවා. එක පාරම ගිහින් බලන්න බැරි නිසා පොඩ්ඩක් ඉඳලා තමයි දොර ඇරියේ. බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දයකුත් එනවා. වහලයේ ඔක්කෝම ටික බිම තිබුණේ. සිවිලිම එහෙම ඔක්කෝම කැඩිලා තිබුණා. ගෑස් මොකක් හරි ප්‍රශ්නයක් තමා. හොඳ වෙලාවට ඒ වෙලාවේ කවුරුත් ඇහැරලා හිටියේ නෑ.”

පසුගිය මාස කිහිපයේ දී මෙවැනි සිද්ධීන් කිහිපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 04 වනදා ගෑස් කාන්දුවක් සිදුවූ පිපිරීමකින් දෙදෙනෙක් තුවාල ලැබූ අතර පසුගිය 16 වනදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබුවා.

මීට අමතර කොළඹ තුරග තරඟ පිටියේ අවන්හලක පසුගිය 20 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් සුළු තුවාල ලැබුවා.