Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සියලු ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා පහසුකම් සැලසිය යුතු බව ජනපති ජගත් සමුළුව අමතමින් කියයි

By News Team on September 23rd, 2021 in Local

සියලූම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔවුන්ගේ යාන්ත්‍රණයන් සහ උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30 ට වැඩි සියලූ දෙනා මේ වන විට පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා කොවිඩ් අභියෝගය ජය ගැනීමට සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර ද ලෝක නායකයින් ඉදිරියේ පැහැදිළි කළා.

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද රාජපක්ෂ මහතා කියාසිටියේ.

රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම සියලූම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුළුල් ප්‍රතිසංස්කරණ කෙරෙහි තම රජය අවධානය යොමු කර තිබෙන බවද මහා මණ්ඩල සැසිවාරය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලූ ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මෙම ක්‍රියාවලිය සඳහා සියලූම දේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධවීමට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට සූදානම් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට කාර්යයන් හා වගකීම ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ගෝලීය අභියෝගයක් වන ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව ඔහු මෙහිදී පැවසුවා.

පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ රටේ ආර්ථික සමෘද්ධිය අහිමි කළ බවත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට තම රජය සහතික වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා තිරසර අනාගතයක් වෙනුවෙන් සැබෑ සහයෝගිතාවයෙන්, ත්‍යාගශීලීව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජගත් සමුළුව අමතමින් වැඩිදුරටත් කියා සිටියා.