Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දියාවේ ගොවින් පාරට බැස්සු අදානි සමාගමට කොළඹ වරායේ බටහිර පර්යන්තයේ අයිතිය ලබා දෙයි

By News Team on September 30th, 2021 in Local

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද (30) උදෑසන අත්සන් තැබුවා.

ඒ ඉන්දියාවේ අදානි සමුහ ව්‍යාපාරය, එහි දේශීය නියෝජිත සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟයි.

මේ අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකර පවත්වාගෙන ගොස් යළි භාරදීමේ ගිවිසුම යටතේ ඉන්දියාවේ අදානි සමාගම එහි දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගම සමඟ අදාළ සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතයි.

මෙය අමෙරිකානු ඩොලර් මිලියන 700ක ආයෝජනයක් බවයි වාර්තා වන්නේ.

අද (30) පෙරවරුවේ කොළඹ දී ගිවිසුම අත්සන් කෙරුණු අතර ඉන්දියානු අදානි සමුහ ව්‍යාපාරයේ සාමාජිකයින් පමණක් මාර්ගගත ක්‍රමයට එක්ව සිටියා.

මීට පෙර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය ඉදිරිපත්ව සිටියත් වෘත්තීය සමිති සහ විවිධ පාර්ශව ඊට විරෝධය පළ කිරීමෙන් අනතුරුව එම සැලසුම අත්හැරුනා.

ඉන් අනතුරුව රජය ප්‍රකාශ කළේ කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමුහ ව්‍යාපාරය සමඟ සංවර්ධනය කිරීමට තීරණය කළ බවයි.