Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමා කිරීම සඳහා රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක්

By News Team on July 2nd, 2021 in Local

මුදල් අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමා කිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් කරමින්.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඇති වත්කමිකින්, මුදල් ත්‍යාග ලෙස විගාමිකයෙකු ලද අරමුදලින් සංක්‍රමණික දීමනාව යටතේ එවන අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා තිබෙනවා.

ඊට අමතරව විගාමිකයින්ගේ අරමුදල් ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 10000ක් හෝ ඒ සමාන ප්‍රමාණයක් දක්වා සීමා කර ඇති අතර පොදු අවසරය යටතේ විගමිකයන් සඳහා සුදුසුකම්ලත් සංක්‍රමණික දීමනාව අදාළ කාලය තුළ අමෙරිකානු ඩොලර් 30000 හෝ ඒ සමාන උපරිමයක් දක්වා සීමා කර ඇති බව සඳහන්.

විගාමිකයින් අර්ථ සාධක අර්මුදල්, විශ්‍රාම වැටුප් හෝ එවැනි ප්‍රතිලාභ ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 30,000ක් හෝ ඒ හා සමාන උපරිමයකට යටත් කිරීමටයි අදාළ ගැසට් නිවේදනයෙන් පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවෙන් පිටත වෙනත් රටක නේවාසික හෝ තාවකාලික නේවාසික වීසා ලබා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 20,000 ක උපරිමයක් දක්වා ද සීමාකර ඇති බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.