Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නන්දා මාලනී ගායනා කළ ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට දඩ

By News Team on June 29th, 2021 in Local

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කර විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර විකිනිමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය පනවන ලද අත්හිටවූ සිරදඩුවම් හා රුපියල් ලක්ෂ පහක දඩය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර තිබෙනවා.

ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගේ එකගත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසිනුයි අද එම තීන්දුව ලබා දුන්නේ.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි සුසිල් ධර්මපාල නැමැත්තෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කලා.

නන්දා මාලනි මහත්මිය විසින් ගායනා කරන ලද ගීත කිහිපයක් නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවල පටිගත කර 2005 වසරේ කොළඹ මහජන පුස්තකාලයේ දී අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කර පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන අංශය විසිනුයි මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේ.