Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ – නිවසින් බැහැරට යාමට හැක්කේ එක් අයෙකුට පමණයි

By News Team on August 19th, 2021 in Local

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ යටතේ පසුගිය 13 වනදා යාවත්කාලීන කෙරුණු මාර්ගෝපදේශ සීමාවන්ට අමතරව නව වාරණ කිහිපයක් පැනවී තිබෙනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව එක් නිවසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයෙකුට පමණයි.

ඒ, අත්‍යවශ්‍ය රාජකාරී සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙන අතර වැඩමුළු, සන්නාම එළිදැක්වීම්, හමු, සම්මන්ත්‍රණ ආදිය සඳහා ඉඩ සැලසෙන්නේ නැහැ.

මීට අමතරව කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ ක්‍රියාකාරීත්වයට සිදුකළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලවයි.

සාප්පු සංකීර්ණ විවෘතව පවතින අතර වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුලත් කරගත හැකියි.

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුලට ඇතුලත් කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු අතර ඊට තදින්ම අනුගතව කටයුතු කළ යුතුයි.

මෙම මාර්ගෝපදේශවලට අනුව අද (18) සිට ලබන 31 වනදා දක්වා සියලු ම සම්භාහන මධ්‍යස්ථාන කායවර්ධන මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාර ළමා උද්‍යාන පිහිනුම් තටාක වසා දැමිය යුතුයි.

එමෙන් ම සංගීත සංදර්ශන, මුහුදු වෙරළ, ආශ්‍රිත ව පවත්වනු ලබන සාද, විනෝද සැණකෙළි ද පැවැත්වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

පෙර පාසල්, පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ අමතර පන්ති නැවත දැනුම්දෙන තුරු වසා දැමීමටයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිර්දේශ කර ඇත්තේ.

මීට අමතරව ආගමික ස්ථානවල ජනතාව ඒකරාශී වීමේ අවස්ථාවන්ට අවසර හිමි නොවන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමිවන්නේ නැහැ.

මේ අතර සාප්පු සංකීර්ණ විවෘතව පවත්වාගෙන යාමට තවදුරටත් අවසර ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කල මාර්ගෝපදේශ මාලාව අනුව සාප්පු සංකීර්ණ වසා තැබිය යුතු බවටයි දක්වා තිබුණේ.

එහෙත් එය සංශෝධනය කර ඇති අතර වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 25 ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගණුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකි ලෙස ලිහිල් කර තිබෙනවා.

ආයතනය තුළට ඇතුලු කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව පිටත ප්‍රදර්ශනයද අනිවාර්ය කර තිබෙනවා.