Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අපනයන, සංචාරක ක්ෂේත්‍ර සංවර්ධනයට නව වැඩපිළිවෙළක්

By News Team on July 28th, 2021 in Business

කොවිඩ් මර්දන එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට පත්වීමෙන් අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර ඊයේ (27) පස්වරුවේ පැවති හමුවකදීයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාව ඉදිරියේ තැබූ වැඩපිළිවෙළ, කොවිඩ් වසංගතය බාධාවක් කර නොගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට තුළ ක්‍රියාත්මක කර ඇති බව වාණිජ මණ්ඩලයේ නිළධාරි මණ්ඩලය මෙහිදී සදහන් කර තිබෙනවා.

ක්‍රියාත්මක ඇතැම් නීති – රීති හේතුවෙන් ආයෝජකයන් අධෛර්යමත්ව සිටින බවත් එවැනි බාධක ඉවත් කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.