Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපතිවරයා අමෙරිකානු ක්‍රමයට ජාතිය අමතන්න නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක්

By News Team on July 27th, 2021 in Local

මින් ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීමට නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කළේ අංග සම්පුර්ණ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් අමෙරිකානු පන්නයට නිර්මාණය කරන ලද මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ලබන 29 වනදා විවෘත කිරීමට නියමිතයි.

ඊට අමතරව ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශවරායට ද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කිරීමට නියමිතයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා ජාතිය ඇමැතූ අවස්ථාවලදී බොහෝ දෙනා මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද විවිධ අඩුපාඩු පෙන්වා දුන්නා.

ඒ අනුව ඉදිරියේ දී ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට මෙම ස්ථානය පමණක් භාවිතා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ නාම පුවරුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් ප්‍රදර්ශනය කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ මේ වන විටත් චෝදනා එල්ල කරමින් සිටිනවා.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය දිය යුතු අතර ඉන් අනතුරුව අනෙකුත් භාෂාවන් භාවිතා කිරීමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්යාලය ලෙස සදහන් පුවරුවේ පළමුව සිංහල භාෂාවත් දෙවනුව ඉංග්‍රීසි භාෂාවත් තුන්වන භාෂාව ලෙස දෙමළ භාෂාවත් යොදා ඇති අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම සිංහල භාෂාවෙන් ජනාධිපති කාර්යාලය ලෙස සදහන් වුවද එය ඉංග්‍රීසි භාෂාවෙන් President Secretariat ලෙස සදහන්ව තිබෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් President Secretariat ලෙස හදුන්වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි.