Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනතා ඒකරාශී වීම් තහනම් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් වෙයි

By News Team on November 12th, 2021 in Local

විවධ සාදා සංවිධානය කිරීමේ දී අනුගමනය කළ යුතු නව නිරෝධායන නීති ඇතුළත් නව ගැසට් පත්‍රයක් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ නිකුත් කළා.

මේ අනුව දැනට පවතින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට නව ගැසට් පත්‍රයෙන් සංශෝධන කිහිපයක් එකතු කර තිබෙනවා.

රැස්වීම්, ඒකරාශීවීම් වැනි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලබාගත යුතු බවයි නව ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත්තේ.

මේ අතර මෙම නව ගැසට් පත්‍රය නිකුත් වීමත් සමඟ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබෙනවා.

මෙම කණ්ඩායම් රැස්වීම අද (12) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිතයි.

ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟ විපක්ෂ නායකවරයා සමඟ සංවාදයේ යෙදුණු බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ කලින් තීන්දු කරගත් පරිදි ආණ්ඩුවට එරෙහිව විරෝධතාව ලබන 16 වනදා දින නියත වශයෙන් පැවැත්විය යුතු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද (12) දිනයේ ගැනීමට නියමිතයි.