Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නතකරණ සේවාවක්

By News Team on July 17th, 2021 in Local

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන්ජංගම එන්නත්කරණසේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කළේය. මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේඅවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුළ එන්නත්කරණය කළ හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන මහත්වරු පෙන්වා දුන්හ. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී තිබේ. එම නිසා අදාළ ක්ෂේත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳව විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනු ලැබීය. පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ජනාධිපති මාධ්‍ය අංශය