Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලොහාන්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්

By News Team on September 16th, 2021 in Local

අනුරාධපුර බන්ධනාගාරයට නීති විරෝධීව ඇතුළුවී එහි සිටි සිරකරුවන් පිරිසකට අවමන් සහගත ලෙස සැළකීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොණුකිරීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරය තුළ අදාල සිද්ධියට මුහුණදුන් රැදවියන් වෙනුවෙන් ඉදිරියේදී මූලික අයිතිවාසිකම් නඩුවක් ගොණුකරමින් මෙම සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට තීරණය කර ඇති බවයි කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මිතුරන් පිරිසක් සමග බීමතින් කොළඹ බන්ධනාගාර මූලස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම හා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි සිටි සිරකරුවන්ට අවමන් සහගත ලෙස හැසිරීමේ සිද්ධීන් මාලාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතාට චෝදනාවක් එල්ලවී තිබුණා.

එම සිද්ධියේ වගකීම භාරගනිමින් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ලොහාන් රත්වත්තේ මහතා තීරණය කළ අතර එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවා.

තර්ජනය කලත් නොකලත් යම් පුද්ගලයෙකුගේ හිසට පිස්තෝලය එල්ල කිරීම බිය ගැන්වීමක් බවත් එය ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුවත් අපරාධමය වරදක් බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා සිහිපත් කරනවා.

ආණ්ඩුවේ ඇමති වරුන්ගේ අත්තනෝමතික නොහික්මුණු ගති නිසා ජනතාව පීඩාවට පත් වීමට ඉඩ නොතැබිය යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා අවධාරණය කළා.