Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇවන්ගාඩ් අධිපතිට 43 සේනාංකයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

By News Team on October 28th, 2021 in Local

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති නමින් පෙනීසිටින නිශ්ශංක යාපා ගේ වත්කම් පිළිබද පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් ලබාදී තිබෙනවා.

ඊයේ (27) දිනයේ මෙම පැමිණිල්ල කර තිබුණේ 43 සේනාංකය විසිනි.

එහිදී අදාළ පැමිණිල්ල ලබාදීම සඳහා නාගරික මන්ත්‍රී බන්දුල චන්ද්‍රසේකර, නීතීඥවරුන් වන රජික කොඩිතුවක්කු, මුදිත් දිසානායකච, ගයාන් යන පිරිස එක්ව සිටියා.

පසුගියදා නිශ්ශංක සේනාධිපති මහතා විසින් රූපවාහිනි නාලිකාවකට පවසා තිබුණේ ඔහු නාවික ආරක්ෂක සේවයේ නිරතව සිටින සමයේ රුපියල් මිලියන 550ක පමණ මුදලක් මාසයකට උපයාගෙන ඇති බවයි.

නමුත් පසුගිය ආණ්ඩුව සමයේ එය නාවික හමුදාවට පවරා ගත් බවත්, වත්මන් ආන්ඩුවට බලයට පත්වූ පසුව එය නැවත ඇවන්ගාඩ් සමාගමට ලබාදුන් බවත් සඳහන් කර තිබුණා.

එහිදී සේනාධිපති මහතා පවසා තිබුණේ පසුගිය කාලයේ මෙන් දැන් මුදලක් උපයා ගත නොහැකි බවත් ඉන් උපයා ගත හැක්කේ රුපියල් මිලියන 95ක් පමණක් බවයි.

ඔහු විසින් මෙලෙස උපයන ලද මුදල් පිළිබඳව ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇති තොරතුරු සහ ඔහු විසින් උපයාගත් ධනයට සිදුකළේ කුමක්ද යන්න පිළිබඳව බලවත් සැකයක් නිර්මාණය වී ඇති බවට පැමිණිල්ල සිදුකළ පිරිස විසින් පවසා සිටියා.